මිහිඳු සෑය
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්‍රවනය කරන්න
කන්ඨක චේතිය හැරුනුකොට ලංකාවේ හමුවන ආරක්‍ෂා වී පවතින පැරණිතම ගඩොලින් කරන ලද ඉදිකිරීම මිහිඳු සෑය ලෙස දැක්වීමට පුලුවන්.මහාවංශයට අනුව ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන පැමිණි අනු බුදු මිහිඳු හිමියන් වසර හැටක් ආයු වලඳා, උත්තිය රජුගේ රාජ්‍ය කාල යේදී මිහින්තලා භූමිය තුලම පිරිනිවීමට යෙදුනා. මිහිඳු මා හිමිගේ ආදාහනයෙන් පසු ඉතිරි වූ ධාතු වලින් කොටසක් මෙම සෑය තුල නිධන් කර පවතින බව විශ්වාස කරනවා. මිහිඳු මා හිමියන් වැඩසිටි ප්‍රදේශයේ ඇති උසම ස්ථානයේ දාගැබක් කරවා කවරෙකුගේ හෝ භෂ්මාවශේෂ තැන්පත් කරනවානම් අනිවාර්යෙන්ම ඒ මිහිඳු හිමියන්ගේම භෂ්මාවශේෂ විය යුතු බව පරණවිතාන මහතාගේ මතයයි.
මිහිඳු සෑය යුග දෙකකට අයත් ලක්‍ෂණ පෙන්නුම් කරනවා. පළමු ඉදිකිරීම කුමන හෝ හේතුවක් තුළ විනාශවීම නිසා ප්‍රතිසංස්කරණයක් ලෙස දෙවනි ඉදිකිරීම සිදු කරන ලද බව පුරාවිද්‍යාඥයන් විශ්වාස කරනවා. ලංකාවේ බුදු පිළිම කළාව මුල් කාලයේ එතරම්ම විකාශණය වී නොතිබූ නිසා සෑය වටා බුදුපිළිම වෙනුවට සිරිපතුල් ගල්, එසේත් නැතිනම් “සීහාසන” තබා තිබීම දැකගැනීමට පුළුවන්.
මෙම ස්ථූපයේ ගර්භය සෙනරත් පරණවිතාණයන් විසින් කැණිම් කරන ලද අතර එහිදී ධාතු ගර්භ දෙකක් සොයාගැනීමට පුලුවන් උනා. ලෝකඩ සහ රත්‍රන් වලින් සාදන ලද බුද්ධ ප්‍රතිමා කිහිපයක්, ඔප දැමූ පාෂාණයෙන් කරන ලද කරඬුවක් සහ මැටි කරඬුවක් තුල තිබුනු රනින් කරන ලද ධාතු කරඬු කිහිපයක් ද එහිදී හමුවුනා. එම බුද්ධ ප්‍රතිමා වඩාත් පසු කාලයකට එනම් අනුරාධපුර යුගයේ අවසාන අර්ධයට හෝ පොලොන්නරු යුගයේ මුල් කාලයට අයත් යැයි විශ්වාස කල හැකි නමුත්, හමු වූ ධාතු කරඬු ලංකාවට බුදු දහම පැමිණි මුල් කාලයට අයත් යැයි විශ්වාස කරනවා. එක් ධාතු කරඬුවක හැඩය ඉන්දියාවේ සාංචි ස්ථූපයට සමාන වන සේ නිර්මාණය කර තිබීම මෙයට හේතුවක්. ඉන්දියාවෙන් හෝ ලංකාවෙන් මෙසේ හමුවූ පැරණිතම අණුරුව මෙය වීමත් විශේෂත්වයක්.
පෙර ලිපිය
ඊලග ලිපිය
සිතියම
ගවේෂණය කිරීමට
ගවේෂණය කිරීමට