රෝහල් සංකීර්ණය
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්‍රවනය කරන්න
දෙවන සේන රජු විසින් ඉදි කරන ලද්දක් බවට මහා වංශයේ දක්වන මෙම රෝහල් සංකීර්ණය දකුණු ආසියාවෙන් හමුවන පැරණිම රෝහල් සංකීර්ණයයි. චතුරශ්‍රාකාර කොටස් දෙකකින් යුතු මෙම ගොඩනැඟිල්ල එක් විශාල දොරටුවකින් සමන්විතයි.
ඇතුලුවන දොරටුවෙන් දකුණුපස, මූලික සායනික කටයුතු සඳහා වෙන් කරන ලද ප්‍රදේශය බවත්, වම් කෙලවර ඇති චතුරශ්‍රාකාර කොටස බෙහෙත් ගබඩාව බවටත් විශ්වාස කරනවා. මෙම බෙහෙත් ගබඩාව සහිත ප්‍රදේශයෙන් පර්සියානු මැටි කලයක් සොයාගන තිබෙනවා. මෙම සොයාගැනීමේ විශේෂත්වය වන්නේ එහි නිර්වින්දනයට යොදාගන්නා ඔසු ගබඩා කර තිබූ බව විද්වතුන් සොයා ගැනීමයි. මෙහි තිබෙන බෙහෙත් ඔරුව තෙල් සහ කිරි මඟින් විෂ ඇද්දවීමේ ප්‍රතිකාර සඳහා යොදාගන්නා ලද්දක්. ශල්‍ය උපකරණ විශාල ප්‍රමාණයක්ද මෙම භූමියේ කැණීම් මඟින් හමු වී තිබෙනවා. එම බොහෝ උපකරණ ඉතා දියුණු උපකරණ බව බටහිර විද්වතුන් පවා පිලිගන්නා කරුණක්.පිටුපසින් තිබෙන විශාල චතුරශ්‍රාකාර ප්‍රදේශය තුල ගලින් කල වේදිකා දෙකක් දක්නට ලැබෙනවා. එක් වේදිකාවක් බුද්ධ ප්‍රතිමාවක් වෙනුවෙනුත් ඉතිරි වේදිකාව අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වෙනුවෙනුත් වෙන්වුනු බව උපකල්පණය කරන්නට පුලුවන්. මෙයට හේතුව මහායාන පිලිගැනීම් අනුව අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ රෝගීන් සුවපත් කරන බව විශ්වාසයක් පැවතීමයි.
හතරවන මිහිඳු රජතුමාගේ ලිපියේ මෙහි සිටි වෙදුන් පිළිබඳව සඳහන් කර තිබෙනවා. “වෙදනා” සහ “පුහුනා වෙදා” යන නම් භාවිත කරල තිබෙන්නේ මෙහි සේවය කල වෙදැදුරන් හැඳින්වීම සඳහායි. පුහුනා වෙදා යන්නෙහි අර්ථය කූඩැල්ලන් ආශ්‍රයෙන් වෙදකම් කරන්නා යන්නයි. කූඩැල්ලන් යොදාගෙන විෂ ඉවත් කරන වෙදකම් සේම ශල්‍යකර්ම මඟින් සිරුර විවර කර සිදු කරනා වෙදකම්ද මෙම රෝහලේ සිදුකර තිබෙනවා. මෙම රෝහල භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් විශේෂයෙන් ඉදිකල නේවාසික රෝහලක් බව බොහෝ විද්වතුන් මත පලකරනවා.
පෙර ලිපිය
ඊලග ලිපිය
සිතියම
ගවේෂණය කිරීමට
ගවේෂණය කිරීමට