ඉඳිකටු සෑය
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්‍රවනය කරන්න
මේ දිස්වන සෑය ක්‍රිස්තු වර්ෂ හත්වන සියවසේ කරන ලද මහායාන ඉදිකිරීමක් බව ඔබ දන්නවාද? මිහින්තලය ප්‍රදේශයේ කඳු මුදුන් වල පවතින සියලුම දාගැබ් ථෙරවාද සම්ප්‍රදායේ දාගැබ් ලෙස පෙන්වාදෙන්න පුලුවන්. නමුත් මෙම ඉඳිකටු සෑය සහ කටු සෑය යම් යම් ලක්ෂණ අනුව එම සම්ප්‍රදායන්ගෙන් පිට පනිනවා.ථෙරවාදී විශ්වාසයන්ට අනුව ශාරීරික ධාතූන් සෑයේ ගර්භය තුල නිධන් කලත්, මහායාන සම්ප්‍රදායට අනුව එසේ ශාරීරික ධාතූන් ගර්භයන් තුල නිධන් කරන්නේ නැහැ. ශාරීරික ධාතූන් වෙනුවට ඔවුන් ධර්ම පාඨ සෑයන් තුල නිධන් කරනවා. මෙම සෑයන් දෙකේම සිදුකරන ලද කැණීම් වලින් අතිශය ජනප්‍රිය මහායාන සූත්‍ර පාඨ ඇතුලත් තඹපත් කිහිපයක් ම සොයාගත්තා.
වේදිකා ආකාර පදනමක් මත ඉදිකර ඇති මෙම ස්ථූප දෙකේ පහළ කොටස කපා ඔප දැමූ ග්‍රැනයිට් පාෂාණයෙන් නිර්මිතයි. තෙවන පේසා වලල්ලට ඉහලින් උඩුකුරුව සහ යටිකුරුව පද්ම පේලියක් දිවෙනවා. පසුකාලීන පද්මාකාර ස්ථූපයන් සෑදීමට මෙම ස්ථූප මුල් වෙන්න ඇතැයි විද්වතුන්ගේ මතය.
මෙම දාගැබ් දෙක ආශ්‍රිතව තිබෙන ආරාම සංකීර්ණයත් 7වන සියවසේ සිංහලයාගේ කළාව පිළිබදව හොඳින්ම විස්තර ලබාදෙන ස්ථානයක් ලෙස දැක්වීමට පුලුවන්. මුරගල්, සඳකඩ පහන් වැනි කලාත්මක දෑ බොහෝ ප්‍රමාණයක් ඉතා හොඳින් ආරක්‍ෂා වී තිබීම නිසා එකල කළා කටයුතු පිළිබඳව හදාරන්නටත් මෙම ස්ථානය ඉතා වැදගත් වෙනවා. නේවාසිකාගාරය වටා හොඳින් කපා ඔප දමන ලද ගල් ප්‍රාකාරයක් තිබෙනවා. සිංහ පොකුණ ආශ්‍රිත ආවාස පරිශ්‍රය සේම මෙම ආවාස පරිශ්‍රයද පංචාවාස පරිශ්‍රයක් ලෙස විද්වතුන් විශ්වාස කරනවා.
පෙර ලිපිය
ඊලග ලිපිය
සිතියම
ගවේෂණය කිරීමට
ගවේෂණය කිරීමට